Friday, November 9, 2012

ආණ්ඩුවෙ ඉස්පිරිතාලයකට ගියෙමි.....

මෙය මඩ ගැසීමක් නොවේ.
---------------------------------

ස්ථානය - බාහිර රෝගී අංශය _________ ශික්ෂණ රෝහල

වේලාව - සවස 2 ට පමණ

මැදි වියේ කාන්තාවක් සිය දරුවා සහ තවත් මහලු කාන්තාවක්(මව විය යුතුයි) සමඟ රැධිර පරික්ෂාවක් සඳහා අදාළ කාමරයට පැමිණියා. රුධිර පරික්ෂාව මැදි වියේ කාන්තාවටයි.  හෙදියක් ඇයගේ අතට සිරින්ජය තබනවාත් සමඟම ඇය මහ හඬින් කෑ ගසන්නට පටන් ගත්තා. 



“අනේ නෝනා.. රිදෙනව නෝනා...ආ.... අම්මේ...“

එය දුටු සියලු දෙනාගෙම ඇසට කඳුලක් ආවෙ නිනැතින්මයි. 

කාමරයේ වූ හෙදියන්ගේ ප්‍රතිචාරය....

(ආවේගාත්මකව) “මොකද...? බබා වෙන්නද හදන්නේ....?   දඟලන්නැතුව ඉන්නවා. මෙයාව අල්ල ගන්න....“

*******************************************************

මට පුදුම හිතුනෙ ඒ සිදධියට නෙමෙයි.   කාමරයේ ගසා තිබූ පුවරුව දැකලා.

“හෙද සොහොයුරියගේ කාමරය“

*******************************************************

ලෙඩක් දුකක් හැදිල අසරණ වෙලා පිහිටක් ලබා ගන්න ආණ්ඩුවෙ ඉස්පිරිතාල වලට එන අම්මලා තාත්තල ඕන තරම් මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙනවා. කායිකව පිරිහෙච්ච ඒ අයටව මානසිකවත් කබලන් ලිපට වැටීමක් තමයි මේ වගේ දෙබසකින් මට තේරුනේ. ඔවුන්ට අවශ්‍ය කායික ප්‍රතිකාරම පමණක් නොවේ. ඇතැම් විට ඔවුන්ට කරුණාවෙන් ආමන්ත්‍රණය කිරීමම ප්‍රබල වෙන්න පුළුවන් දෙන බෙහෙත් පෙති, කරල් වලට වඩා...

(සැබෑ කරුණාභරිත හෙද සොයුරියන් නැතුවා නොවේ.)




Tuesday, November 6, 2012

තේ දළු නෙලන්නීට.....


ලොදිළු දින පතිඳු පෙරඹර නඟින                විට
මේකුළු පටින් ගිලිහෙයි බොල් තුසර          කැට
ඒ අළුය මෙහි රසවත් වන හැටට                හැට
තේදළු නෙළන යුවතියෙ කවි කියමි            තිට

මද හස මුවඟ පෙර පෙර පෙම් මක            රන්ද
පැද කුනු කරන් ඉඟ සුඟ මත සැප            බැන්ද
හොඳ යව්වනියෙ ලැබගත් සිරි මන            රන්ද
අද ඔබ නිසා ඔප වෙයි ගුරුවල                 කන්ද

කිටි කිටි ගගා ලෙල වෙන තාලයට            අතේ
අටියෙන් නැගේ සප්සර පන්සිළුගේ          තතේ
පිටි සර රුසිරු යව්වන හුරු බුහුටි              කතේ
දිටි වුන් ඔබට ආසිරි පිණි ඉසිනු                ඇතේ

මුදු බඳ වසා ඇඳ මල් ඉතිරුන                   රෙද්ද
සුදු රෙදි කඩින් හිස මත සෙවනක්              ඇද්ද
ඉදු යව්වනියෙ දින රද හිරිහැර                   දෙද්ද
නුදු රෙන් හමන සුළඟෙන් සැනසිලි          නැද්ද

විඳ දල වෙහෙස දුක් දොම්නස් ගැහැට          සිඳ
රැඳ වෙන වෙලාවට නිල් තේ පඳුරු              මැද
ඔද ගන්වමින් නව නළු රස පෙරට                ඇද
පොද වැසි සුළං තිට හං කිති කවන                වද

දිවි පරිසරය රසවත් ලෙස අනා                 ගතේ
පිවිතුරු කරන අටියෙන් දිරි දමා                හිතේ
පෙවි පෙවි සිසිලෙ රැඳුනත් දළු නෙලන     කතේ
නිවි සැනසිල්ලෙ සැනසෙනු  ඇඟ විඩා     ඇතේ

පේමය රකින ඔය හැමගෙම රුසිරු               අග
සාමය පෙරනු ඇත සැනසුම කරයි                 දඟ
මේකිය මනට උරනක් හෙම නොවනු            දිග
හා ඔය පැසට රිදෙනව ඇති සිඟිති                 ඉඟ

කන් කළු මිහිරි මුවඟින් නිරතුරුව                බිනු
ගැන් වී සෙනේහය රස කැළ වෙතට           දෙනු
පෙම් බර උවැසියේ මදහස කරන              ගොනු
චන් දන කපුරු කිම තිට තව සිනහ             වෙනු

තේ දළු නෙලන්නීට.....


මේක මගේ නිර්මාණයක් නොවේ.  පරණ පොත් ගොඩක් අවුස්සද්දි හම්බවුනු පැරණි සඟරාවක පළ වෙච්ච ලස්සන කවි පන්තියක්. කියවලම බලන්නකෝ.... (අයිතිය මුල් කිවිඳු සතුය.)


( 1952 සැප්තැම්බර් - ඔක්තෝබර්සාන්ති සඟරාව 17 කලාපය )



















ලොදිළු දින පතිඳු පෙරඹර නඟින                විට
මේකුළු පටින් ගිලිහෙයි බොල් තුසර          කැට
ඒ අළුය මෙහි රසවත් වන හැටට                හැට
තේදළු නෙළන යුවතියෙ කවි කියමි            තිට

මද හස මුවඟ පෙර පෙර පෙම් මක            රන්ද
පැද කුනු කරන් ඉඟ සුඟ මත සැප            බැන්ද
හොඳ යව්වනියෙ ලැබගත් සිරි මන            රන්ද
අද ඔබ නිසා ඔප වෙයි ගුරුවල                 කන්ද

කිටි කිටි ගගා ලෙල වෙන තාලයට            අතේ
අටියෙන් නැගේ සප්සර පන්සිළුගේ          තතේ
පිටි සර රුසිරු යව්වන හුරු බුහුටි              කතේ
දිටි වුන් ඔබට ආසිරි පිණි ඉසිනු                ඇතේ

මුදු බඳ වසා ඇඳ මල් ඉතිරුන                   රෙද්ද
සුදු රෙදි කඩින් හිස මත සෙවනක්              ඇද්ද
ඉදු යව්වනියෙ දින රද හිරිහැර                   දෙද්ද
නුදු රෙන් හමන සුළඟෙන් සැනසිලි          නැද්ද

විඳ දල වෙහෙස දුක් දොම්නස් ගැහැට          සිඳ
රැඳ වෙන වෙලාවට නිල් තේ පඳුරු              මැද
ඔද ගන්වමින් නව නළු රස පෙරට                ඇද
පොද වැසි සුළං තිට හං කිති කවන                වද

දිවි පරිසරය රසවත් ලෙස අනා                 ගතේ
පිවිතුරු කරන අටියෙන් දිරි දමා                හිතේ
පෙවි පෙවි සිසිලෙ රැඳුනත් දළු නෙලන     කතේ
නිවි සැනසිල්ලෙ සැනසෙනු  ඇඟ විඩා     ඇතේ

පේමය රකින ඔය හැමගෙම රුසිරු               අග
සාමය පෙරනු ඇත සැනසුම කරයි                 දඟ
මේකිය මනට උරනක් හෙම නොවනු            දිග
හා ඔය පැසට රිදෙනව ඇති සිඟිති                 ඉඟ

කන් කළු මිහිරි මුවඟින් නිරතුරුව                බිනු
ගැන් වී සෙනේහය රස කැළ වෙතට           දෙනු
පෙම් බර උවැසියේ මදහස කරන              ගොනු
චන් දන කපුරු කිම තිට තව සිනහ             වෙනු

 ඇම්. කේ. අප්පුහාමි
පෝද්දිවල,
තල්ගස්වල.