Sunday, October 9, 2011

අමරණීය ජොබ්ස්....

අමරණීය ජොබ්ස්.... ඔබට නිවන් සුව නොලැබේවා...!

කර්කශ වූත් රළු වූත් අමිහිරි වූත් පරිගණක ලොවට 1984 ජනවාරි 24 දා හුරුබුහුටි සිඟිත්තෙක් උපන්නේය. ළපටි බවෙන් හා හැඩකාර බවෙන් පිරිපුන් නිසා කාගේත් ආදරය එයට හිමිවිය. ඒ අනෙකක් නොව වානිජමය වශයෙන් සාර්ථක ලොව පළමු පුද්ගලික පරිගණකය වූ ඇපල් මැකින්ටොෂ් පරිගණකයයි. එදා මෙදා තුර පරිගණක ලෝකය මහා වෙනසකට රැගෙන ගිය එහි පියා වූයේ ඇපල් සමාගමේ නිර්මාතෘ, අපේ කතා නායකයා වන ‘ ස්ටීව් ජොබ්ස්‘ ය.

‘මැක්‘ යන සුරතල් නමින් හඳුන්වන මැකින්ටොෂ් පරිගණකය මෙලොව පරිගණක ලෝකයට අලුත් පුරුදු රැසක් ගෙන ආවේය. පළමු ග්‍රැෆිකල් අතුරැ මුහුනත, මවුසය, ෆ්ලොපි ඩ්‍රයිව් යනාදී ගතිගුණ වලින් පරිගණකය හැඩවූයේ මැක් ගේ ආගමනයත් සමඟය. මේ මහා විපර්යාසයන්ට මග පෑදුනේ ජොබ්ස්ගේ නිර්මාණශීලී සිතිවිලි ඔස්සේය.

ස්ටීව් ජොබ්ස්

1955 දී උපත ලැබූ ස්ටීව් පෝල් ජොබ්ස්ගේ ජීවිතය කිසිවිටෙක සුඛෝපභෝගී වූවක් නොවීය. කෙසේ හෝ වයස අවු 17 දී සරසවි අධ්‍යාපණයට පිවිසෙන ඔහු එහිද බොහෝ සේ දුක්ඛිත ජීවිතයක් ගතකරයි. ඔහුට හරිහමන් ආහාර වේලක් ලැබෙන්නේ සතියකට වරක් හෝ දෙවරකි. සරසවියේදී පාඨමාලා කීපයක් හැදෑරුවද ඒ පිළිබඳ ඔහුට ඒ තරම් ඇල්මක් නොතිබුණි.

ස්ටීව්ගේ සිත පරිගණක ක්ෂේත්‍රය වෙත යොමුවන්නේ මෙවන් සමයකය. තම මිතුරෙකු වූ වොස්නියැක් සමඟ එකතු වූ ඔහු විවිධ පරිගණක කොටස් එකතු කරමින් ඒ පිළිබඳ අධ්‍යයනය කරමින් විවිධ අත්හදා බැලීම් වලට යොමුවෙයි. මෙසේ දිගු කලක තිස්සේ අසීමිත කැපකිරීම් වල ප්‍රතිඵලයක් ලෙස ‘ඇපල්‘ සමාගම ඔහු අතින් බිහි වෙයි.

තම සියලු ජයග්‍රහණයන්ට හේතු පාදක වන්නේ තමා තුළ වූ දැඩි අධිෂ්ඨානය බව ඔහු පසු කලෙක සඳහත් කරයි. බුදු දහම පිළිබඳ තමා තුළ වූ විශ්වාසයත්, ජීවිතයේ අනිත්‍යය ගැන තිබූ අවබෝධයත් නිසා සියලු අභියෝග බාධක වලට සාර්ථකව මුහුණ දීමට හැකි වූ බව ඔහු පවසයි.


1976 දී සිය සමාගමේ පළමු නිශ්පාදනය ලෙස ඇපල් 1 පරිගණකය බිහිවිය. වෙළඳපොළට නිකුත් කළ එයට අනපේක්ෂිත ඉල්ලුමක් ලැබිණි. ඒ එය එතෙක් ලොව තිබූ පරිගණක කලාවට අලුත් මුහුණුවරකින් යුතුව පැමිණි අමුත්තෙක් වීම නිසාය. මෙසේ 1977 දී ඇපල් 2 පරිගණකයද බිහිවිය. පරිගණක ලොව මහා විපර්යාසයකට භාජනය කරනු ලැබූ ඇපල් මැකින්ටොෂ් පරිගණකය ඔහු අතින් නිපදවෙන්නේ 1984 දී ය. එකල තිබූ පරිගණක වලට සාපේක්ෂව ඉතා ආකර්ශණීය පෙනුමකින් ආ මෙය ජනතාව අතර වඩාත් ජනප්‍රිය විය. මෙසේ පරිගණක වංශ කතාවේ නොමැකෙන මග සලකුණු වන මැකින්ටොෂ්, නෝට්බුක්, අයිමැක්, ඇපල් අයි ෆෝන් ආදී මහජනයාට වඩාත් සමීප නිර්මාණ ඔහුගේ සුරතින් නිමැවිණි. ජනතාවගේ සිතුම් පැතුම් වලට වඩාත් සමීප ලෙස සිය නිර්මාණ සැලසුම් කිරීම ඒවායේ ජනප්‍රියත්වයට හේතුව බව ඔහු සඳහන් කරයි.


දියුණුවේ හිණිපෙත්තටම නැඟි ඔහුටද ලොව පවතින ධර්මතාවන් සමඟ තරඟ කරන්නට සිදුවිය. මුහුණ දුන් සියලු තරඟ වලින් ජයගත් ඔහු අවසානයේ මාරයාට පරාජය විය. ඒ ඔහුගේ අග්න්‍යාශයේ හටගත් පිලිකාවක් නිසාය. නමුත් ඔහු ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන සිටි අයෙකි. සිය ජීවිත කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත් ඔහු ජීවිතයෙන් සමුගන්නේ මෙලොවින් ගත් දේට වඩා යමක් මේ මිහි තලයට දායාද කර දී ය.

එසේ නම් ලොව තාක්ෂණ මහිමයේ දියුණුව වෙනුවෙන් ඔහු නැවතත් මේ මිහිතලයට පැමිණිය යුතුය.


* * * *

ආශ්‍රිත ලිපි : -

විකීපීඩියා විශ්ව කෝෂය, විජය පරිගණක සඟරාව, රිවිර ජාතික පුවත්පත


6 comments:

  1. වැඩේ හොඳයි දිගටම ලියන්න,ඔන්න මමත් ටික දවසකට කලින් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා (http://garagemalli.blogspot.com/).
    ඔයාගේ බ්ලොගයේ කමෙන්ට් එකක් දාන පලවෙනියා වීම ගැන මට සතුටුයි!

    ReplyDelete
  2. ආ.. බොහොම ස්තුතියි යාලුවා.. මේකට කවද කමෙන්ට් එකක් වැටේද කියල මම බලං හිටියේ. බ්ලොග් එකක් පටන් ගත්ත එක ගැන සංතෝසයි. ඔයාගේ බ්ලොග් එකේ ලින්ක් එකක් මගේ හෝම් පේජ් එකේ දාන්නම්කෝ.

    ReplyDelete
  3. ඇත්තටම හරිම හොඳට ඔයා ලියල තියෙනවා. තවත් දිගටම ලියන්න අපි අනිවා කියවනවා!

    ස්ටිව් ජොබ්ස් ගැන මම මුලින්ම දැනගත්තෙ Pirates of the Silicon Vally කියන ෆිල්ම් එකෙන්. ඒක ටිකක් පරණ ෆිල්ම් එකක්. මන් හිතන්නෙ 2001 විතර ආපු එකක්.(Social Network වගේ මම ආස කරපු ෆිල්ම් එකක්) බිල් ගේට්ස් සහ ස්ටීව් ජොබ්ස් කියන මිනිස්සු දෙන්න ගැනයි ඒකෙ කතාව. ඒකෙ නම් අන්තිමට බිල් ස්ටීව්ගෙ ලොකු අයියා වෙන හැටියි පෙන්නන්නෙ. හැබැයි ස්ටීව් ගෙ කතාව එතැනින් ඉවර වුනේ නෑ කියල දැන ගත්තෙ අයියා කෙනෙක්ගෙන්. එයා මට පෙන්නුවා stanford විශ්වවිද්‍යාලෙදි ස්ටීව් කරපු ලෝකප්‍රසිද්ධ කතාව. ස්ටීව්ගෙ කතාව මම ආසම කරන්න ඉඩ තිබ්බ ප්‍රබන්දයක කතාවක් තරම්ම නැත්තම් ඊටත් වඩා පුදුමාකාර ජීව්ත කතාවක්!, එදා ඉඳන් මම ස්ටීව් ජොබ්ස් කියන මනුස්සයට ආදරය කරනවා.

    ReplyDelete
  4. ස්තූතියි යාලුවා. මමත් ඒ ෆිල්ම් එක බලන්න ට්‍රයියක් දෙන්න ඕන. බොහොම ස්තූතියි කමෙන්ට් කරල මාව දිරිමත් කරනවට...

    ReplyDelete
  5. නියමයි යාලුවා........

    ReplyDelete
  6. නියමයි යාලුවා........

    ReplyDelete