Thursday, November 17, 2011

බස් රථය තුළදී සිදුවන අනතුරු වලින් ආරක්ෂා වෙන හැටි. (දුම්රියටත් අදාළ විය හැක)


අද ප්‍රධානතම ගමනාගමන මාධ්‍යය වන්නේ බසයයි. ඔබත් මමත් අපි හැමෝමත් බස් වල යනව. ඉතින් බස් වල යනකොට සිදුවන අනතුරු පිළිබඳ සැලකිලිමත් වන එක හුඟක් වැදගත්.

සැ,යු.

මෙම ආරක්ෂාකාරී උපක්‍රම වෛද්‍යවරුන්, ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන්, පොලිස් මහතුන් ආදීන්ගේ අනුමැතිය ලද හෝ නොලද ඒවා විය හැක.

නමුත් බසයට ගොඩවූ අවස්ථාවේ සිට බසයෙන් බසින අවස්ථාව දක්වා මෙම ක්‍රම අනුගමනය කිරීම ශරීරයට හා ආත්මයට යෝග්‍ය බව පරීක්ෂණාත්මකව තහවුරු වී තිබේ.



බසය තුළ වාඩි වී යන විට

01. බස් රථයේ මැදට වන්නට වන අසුනක අසුන් ගැනීම.

  • එවිට අසුන පිරිනැමීමට අවස්ථා ලැබීමේ සම්භාවිතාව අඩුය. තෙරපීමේ හැකියාවද අවම මට්ටමක පවතී. මේ සඳහා පිටුපස අසුනද යෝග්‍ය වේ. (පෙම් මුල්ල වුවද ප්‍රශ්නයක් නැත.)

02. ඔබ පිරිමියෙක් නම්, සම්පූර්ණ හිස් අසුනක් නොමැති අවස්ථාවකදී, තවත් පිරිමියෙකු වාඩි වී සිටින අසුනක අසුන් ගන්න.

  • එවිට ඔබෙන් යම් අත් වැරැද්දක් සිදුවූ අවස්ථාවකදී බැනුම් ඇසීමේ සම්භාවිතාව අඩුය.

03. ඔබ කාන්තාවක් නම්, සම්පූර්ණ හිස් අසුනක් නොමැති අවස්ථාවකදී, පිරිමියෙකු වාඩි වී සිටින අසුනක අසුන් ගන්න.

එවිට ඔබෙන් යම් අත් වැරැද්දක් සිදුවූ අවස්ථාවකදී බැනුම් ඇසීමේ සම්භාවිතාව 0.01% තරම් කුඩා අගයක් ගනී.*

(නිල නොවන සමීක්ෂණ වාර්ථා අනුව)

04. ඔබ පහසුවෙන් නින්දට වැටෙන අයෙක් නම් ජනේලය අසල වාඩි වීම ඇඟට ගුණය.

  • ඔබ නිදා සිටින විට බසය වංගු ගැනීමේදී ඔබ බිමට වැටීමෙන් වැළකේ.

  • නමුත් අසුනේ අනෙක් පස සිටින්නේ කාන්තාවක් නම් පිරිමි ඔබ නින්දට වැටීම ඹබේ ඇඟට සහ ආත්මයට ගුණ නොවේ.(ස්ත්‍රී පාර්ශවයට මෙය එතරම් වැදගත් නැත.)

  • බස් රථය තුළ නින්ද යාම වැලැක්වීම සඳහා ක්‍රම ගණනාවක් ඇත. තමා අසළ සිටින තරුණ ( ඇහැට කනට පෙනෙන) කාන්තාවක් දෙස බලා සිට ඇය අප දෙස බැලූ විට ඉවත බලා ගැනීම සාර්ථක ක්‍රමයකි. (තවත් ක්‍රම පසු ලිපියකින් පළ කෙරෙනු ඇත). ‍එවිට කාන්තාවද අප දෙස බලන නිසා නිදිමත අසළකටවත් නොඒ. (අත් දුටු ප්‍රත්‍යක්ෂ ක්‍රමයකි).

  • කාන්තාවන්ටද මෙම ක්‍රමය පොදුය. නමුත් පුරුෂයන් දෙස බලාසිටීමෙන් ඇතිවන පෂ්චාත් අතුරු අන්තරා පිළිබඳ වගකියනු නොලැබේ.

05. හඳුනන කිසිවෙකු තමා අසල නොමැති නම් ගමනාන්තය තෙක් නිෂ්ශබ්දව (අවශ්‍ය දේට පමණක් කතා කර) යාම සුදුසුය. මෙය මාද පිළිපදින ක්‍රමයකි. ( මෙය ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශයටම සුදුසු වේ.)


බසය තුළ සිටගෙන යන විට

01. වැඩිපුර සෙනග නොගැවසෙන ස්ථානයක් තෝරා ගැනීම ඉතා වැදගත් වේ.

  • ඔබ පිරිමියෙකු නම් කාන්තාවන් වැඩිපුර ගැවසෙන ස්ථානයකද, ඔබ කාන්තාවක් නම් පිරිමින් වැඩිපුර ගැවසෙන ස්ථානයකද නොසිටීමට වගබලා ගත යුතුය. එම නිසා හුදකළා වූ ප්‍රෙද්ශයක සිටීම යෝග්‍ය වේ.

02. ඔබ සතු ගමන් මල්ල තබා ගැනීම අපහසු නම් වාඩි වී සිටින අයෙකුට එය පිරිනැමීම සුදුසුය. ( බඩු තැබීමට රාක්කයක් නොමැති බස් රථ සඳහා)

ඔබ පුරුෂයෙක් නම්

  • ඔබේ ගමන් මල්ල වාඩි වී සිටින තරුණියකට දීම වරදක් නැත. වටින කියන භාන්ඩ ඇත්නම් මැදිවියේ කාන්තාවකට කිසිවිටෙක දීමෙන් වලකින්න.

(පුරුෂයෙකුට දීම එතරම් සුදුසු නැත).

ඔබ කාන්තාවක් නම්

  • ඕනෑම වයසක පසුවන පුරුෂ පාර්ෂවයේ අයෙකු හට ගමන්මල්ල දීම සුදුසුය. ඔවුන් ඉතා පරෙස්සමින් එය ළඟ තබා ගනී. (වටින කියන බඩු ඇත්තේ අත් බෑගයේ නිසා එය එල්ලාගෙන සිටීම අපහසු නොවේ.)

03. වැඩිපුර සෙනඟ ඇති (ඇඟිල්ලක් ගැසීමට බැරි) බසයක සිටගෙන සිටින අවස්ථාවකදී

පුරුෂ පාර්ෂවය සඳහා

01. කිසි විටෙක කාන්තාවන් සිටින ස්ථානයක රැඳී සිටීම නොකළ යුතුය. (ශරීරයට හා ආත්මයට යන 2ටම අගුණය).

02. පුරුෂයන් සිටින ස්ථානයක සිටී නම් මුදල් පසුම්බ් ආදී වටින කියන බඩු ගැන සැලකිලිමත් වීම වැදගත් වේ.

03. නොවැලැක්විය හැකි හේතුවක් නිසා කාන්තාවන් සිටින ස්ථානයක රැඳී සිටීමට සිදුවුනි නම් ඔබේ ශරීරය කෙලින්(සිරස්ව) තබා ගැනීම වැදගත් වේ. ( ඉදිරියට, පසුපසට ආනත නොවීමට වගබලා ගත යුතුය).

ස්ත්‍රී පාර්ෂවය සඳහා

01. පුරුෂයන් සිටින ස්ථානයක සිටීම එතරම් සුදුසු නොවේ. (ශරීරයට සහ වටින කියන බඩු වලට අගුණ විය හැක).

නොවැලැක්විය හැකි හේතුවක් නිසා පුරුෂයන් ගැවසෙන ස්ථානයක සිටීමට සිදුවී නම්, ඉදිරිපස, පසුපස, දෙපස හොඳින් හිස හරවා නිරීක්ෂණය කරමින් සිටීම අනුමත ක්‍රමයකි.


  • බසයේ සිටගෙන සිටින විට පිරිමි පාර්ෂවයේ අයෙක් නම් එක් අතක් බසයේ වහලේ ඇති බාර් එකේද, අනෙක් අත අසුනක බාර් එකෙන්ද අල්ලාගෙන සිටීම ආරක්ෂාකාරීය. ( හදිසි තිරිංග යෙදීමකදී)

  • කාන්තාවක් නම් වහලේ බාර් එකට අත දිග නැති නිසා අත් 2ම සීට් 2ක ඇති බාර් 2කින් අල්ලාගෙන සිටීම සුදුසුය. (අත දිග වුවද මෙම ක්‍රමය කාන්තාවකට උචිතය.)
  • බසයෙන් බසින විටදී ඉදිරි පස දොරටුවෙන් බැස යාම ඇඟට ගුණය. එවිට ඩ්‍රයිවර් අයියාට( හෝ මල්ලීට) අපව පෙනෙන නිසා බහින්නට පෙර ඇද්දීමේ අවදානම අඩුය. (මෙය ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂයටම සුදුසු ය).

බස් රථයේ ගමන් කරන විට මෙම කරුණු සියල්ල පිළිපදින්නෙ නම්, ඇනුම් බැනුම්, ගැරහුම්, සෙරෙප්පු පහරවල්, කුඩ පහරවල්.... ආදී උපද්‍රව වලින් 95%ක් පමණ ආරක්ෂා විය හැකි බව පරීක්ෂණ වාර්තා වලින් තහවුරු වී ඇත. එම නිසා මෙම පියවර අනුගමනය කර ඔබේත් අනෙක් අයගේත් ආරක්ෂාව තහවුරු කිරීම ඔබේ යුතුකම හා වගකීම වේ.

සැ. යු. - ඉහත ආරක්ෂාකාරී පියවරයන් ලංගම හා පෞද්ගලික යන බස් රථ දෙවර්ගය සඳහාම අදාළ වේ.

4 comments:

  1. he he...man me me wage ekak dakkamai...aththtama uba oya okkoma karanawadha?

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්... අවදානමට පෙර සුදානම හොඳයිනේ... නැත්තම් කන්නනේ වෙන්නෙ. ඇහෙනවනෙ මේ දවස් වල තියෙන සද්දෙ.

      Delete