Tuesday, November 1, 2011

පැය එකහමාරක් හිරේ....



මේ සිද්ධිය වුණේ මම A/L කරන දවස් වල. හරියටම A/L විභාගේ chemistry 2nd paper එක තිබුණු දවසෙ. මාත් එක්ක මේ අත්දැකීම විඳගනිපු තව දෙන්නෙක් හිටිය. ඒ අයගේ ඇත්ත නම් නොදා කාඩ් එක විතරක් දාන්නම්. එක්කෙනෙක් පිංසිරි. අනෙකා අලී. අපේ ක්ලාස්වල නම් මුන්ගේ ඇත්ත නමට වඩා කාඩ් එක තමයි නැගල යන්නෙ. කොහොම නමුත් මේක තමයි මගේ A/L ජීවිතේ කාපු ලොකුම කට්ට. මතක් වෙනකොටත් ෆුල්ම ආතල්.

ඔන්න අපි එදා පේපර් එක ලියල ඉවරවෙලා පොඩි සාකච්ඡා පාරක් දාගෙන හිටිය. අපි කිව්වෙ මමයි ඉහත කියපු 2න්නයි. පේපර් එකක් ඉවර වුනාම ඉතිං කතා කරන්න ගොඩක් දේවල් තියෙනවනේ පස්සෙන්දට මොන subject එක තිබුණත්. පැය බාගයක් විතර ඉඳල, පිංසිරිය ගෙනාපු බත් එකත් කාල ඔන්න යන්න පිටත් වුණා. ඒ වෙනකොට අපේ Hall එකේ බල්ලෙක්වත් හිටියෙ නෑ අපි 3 හැර. ඉතිං පඩි පෙළ බැහැල බලපි. මළ කෙළියයි. අරුන් දෙන්නට කෙ‍සේ වෙතත් මට නම් දෙලෝ රත් වුණා.

බිල්ඩින් එක ලොක් කරල ගිහිල්ල.....

ශාලාධිපති තියා මිනිස් පුළුටක්වත් නැහැ. තුන් දෙනාම බිල්ඩිම වහල ගියපු අයගේ පරම්පරාව සිහිකරනව. දැන් ඉතින් මොන දෙයියන්ට කියන්නද? අපි හිටියේ E. M. කරුණාරත්න කියන බිල්ඩින් එකේ. කෙටියෙන් කියන්නෙ EMK එක කියල. තට්ටු 3ක බිල්ඩින් එකක්. ඒකෙ උඩම තට්ටුවෙ තමයි අපි විභාගෙ ලිව්වෙ. බිල්ඩින් එක තට්ටු 3ක් වුණත් බිල්ඩින් එකම ලොක් කරන්නෙ යටම තට්ටුවෙ දොරින්. ඒ නිසා අපි 3වෙනි තට්ටුවේ හිරවෙන්න තරම් අවාසනාවන්ත වුණේ නෑ.

නමුත් තට්ටු 3ක බිල්ඩින් එකේ අපි 3දෙනා හිරවෙලා. මේකෙ හිටපු Richmondites ල දන්නව EMK එකේ ලොක් එක ගැන. නිකං ලකප් එක වගේ තමයි. දැල් ගහල. කඩන්න තියා හිතන්නවත් බෑ. අවශ්‍ය උපකරණත් නෑනේ.

දැන් ඉතින් මොකක්ද කරන්නෙ? 2nd floor එකේ ඉඳන් පල්ලෙහට පනින්නත් බයයි. පොඩි කාලෙ වගේ පැනිලි දැඟලිලිත් දැන් ඒ තරම් හුරු නෑනෙ. ඇරත් වටේටම ගල් ගොඩවල්. අතක් පයක් කැඩුනොත් පස්සෙන්දට සාමාන්‍ය ඉංග්‍රීසියි පොදු පරික්ෂණෙයි ලියන්න වෙන්නෙ නෑ. ඒව මතක් වෙනකොට පනින්න හිතෙන්නෙ කාටද? අපිව බේර ගන්ඩෝ..... කියල කෑ ගහන්නත් බෑ. නෝන්ඩියනේ. කොල්ලොනේ.

මෙහෙම ඉඳලත් බෑනේ. වෙන දෙයක් වෙච්චදෙන් කියල මම පනින්න රෙඩි වුණා. 2nd floor එකේ බැල්කනියෙ කොන්ක්‍රීට් එකට බැහැල බෑග් එක පල්ලෙහාට දැම්ම. අරුන් දෙන්න එපා කියද්දි කියද්දි මම දෙවියො බුදුන් සිහි කරගෙන පනින්න ගැම්ම ගන්නකොටම ඈත තවුද එනව දැක්ක. බැලින්නම් ක්‍රීඩා භාර සර් කෙනෙක්. ග්‍රවුන්ඩ් එක ළඟින් පල්ලෙහට බැහැගෙන එනව. මම ඒ සර්ගෙ නම දන්නෙ නෑ. දන්නවනම් නම සඳහන් කරන්න පසුබට වෙන්නෙත් නෑ. එයා මනුස්සයෙක් නෙමේ. දෙවිකෙනෙක්. අපි කෑ.. ගහල කතාකළා සර්... සර්... කියල. සර්ට යම්තම් ඇහිල අපි හිරවෙලා හිටපු බිල්ඩින් එක යටට ආව.

අපි 3දෙනාම නාහෙන් අඬ අඬ වෙච්ච ඇබැද්දිය විස්තර කරල සර්ට කිව්ව. සර් ට පණ යන්න හිනා. සර් කිව්ව පනින්න එපා යතුර හොයන් එන්නම් කියල සර් ගියා.

ඇති යා...න්තම් පැය බාගෙකින් විතර සර් ආපහු ආව. හැබැයි සර් ආපහු ආවේ තනියම නම් නෙමේ. ඉස්කෝලේ ඒ වෙනකොට හිටපු කොල්ලො කුරුට්ටො, මිස් ල සර් ල යි සිකුරටි අංකල්ලයි සේරම පිරිවරාගෙන. වස විලිලැජ්ජාව. මොනව කරන්නද ඉතින්. පනින්න ගිහින් අතක් පයක් කැඩෙනවට වඩා මෙයින් ගියා මදෑ. අපේ අනධ්‍යන කාර්ය මණ්ඩලේ ඉන්නව අංකල් කෙනෙක් කණ්ඩම්බි කියල. කණ්ඩම්බි අංකල් තමයි ඇවිත් දොර ඇරියෙ. මිනිහගෙන් නම් බැනුම් කෝටියයි.

තුන් දෙනාම බිම බලාගෙන එළියට ආව. මිස් කෙනෙක් අහනව දොර ලොක් කරනකන් මොනව කරාද කියල. ඉතින් හොඳ හොඳ ඒව කටට එනව කියන්න. ඒත් කර බාගෙන ආව.

එදා කොහොමහරි ගෙදර ගියේ පැය 3ක් විතර පරක්කුවෙලා. පස්සෙන්දට තිබුණෙ සාමාන්‍ය ඉංග්‍රීසි නිසා පාඩම් කරන්න දෙයක් නෑනෙ ඉතිං. ඒක නිසා එතරම් අවුලක් වුණේ නෑ.

කොහාම වුනත් සිද්ධියනම් කවදාවත් අමතක වෙන්නෙ නෑ.

3 comments:

  1. ඔයිං ගියා මදැයි
    තව පොඩ්ඩෙන් තුන්දෙනාට පහුවෙනිදා පේපර් ඒකත් ලියලම ගෙදර යන්න තිබුනා....

    අපි ඉස්සර ඒ ලෙවල් කරන කාලේ ඉස්කෝලේ දෙවැනි තට්ටුවේ ඉඳල පහලට පනිනවා ආතල් එකට
    හැබැයි එතන පොලව රළු නැහැ, ඒ නිසා අවුලක් නැහැ
    ඒත් දැන්නම් මොන පැනිලිද....

    ReplyDelete
  2. මචං, මේ Word Verification එක අහක් කරපන්
    එතකොට කමෙන්ට් කරන අයට පහසුයි.

    ReplyDelete
  3. ස්තූතියි මිත්‍රය අදහස් වලට. ඔන්න මම Word Verification එක ඉවත් කළා. ඇත්තටම මම මගේ බ්ලොග් එකේ Word Verification එකක් තිබෙන බව දැනන් හිටියෙ නැහැ. මම හිතුවෙ ඒක default තිබෙන්නෙ නැහැ කියල. ඇත්තටම ඒක මහ වදයක්. ඔයා කියපු එක ලොකු දෙයක්. ස්තූතියි.

    ReplyDelete